Monday, March 31, 2014

ගන්ධබ්බයකුගේ පෙළ මතක් කිරීම.....

හාත්පස කෑලි කැපිය හැකි කළුවරය, හෝ හෝ ගා හමනා දැඩි සීත සුලග සමග මුසුවූ මීදුමය, අතරින් පතර වැසි බිදු කීපයක් වැටෙන රාත්‍රියේ සුළගේ හඬ හැර වෙනත් කිසිඳු හඬක් නැති නිහැඩිතාවය. සඳ එළියවත් තරු එලියවත් පොලවට නොවැටෙන්නට ඝණ වලාකුළු බිඳකුඳු ඉඩ හසර දී නැත. අවට කිසිඳු ආලෝකයක් පෙනෙන්නට නැත. මේ සියල්ල මැදින් පාවී යන ගන්ධබ්බයාට කුමක්දෝ හුරුපුරුදු ගතියක් දැනුණි. පාවී යන ගමන්ම ගන්ධබ්බයා වටපිට බැලූයේ මෙතැන කොහිදැයි නිශ්චිත කර දැනගන්නටය.

ටොහ්..ගන්ධබ්බයාගේ හිස කුමකදෝ තදින් වැදිණි, ඉන් එක්වරම ගමන් මග වෙනස්වූ ගන්ධබ්බයා පහලට වැටෙන්නට විය. එසේ පහලට වැටෙනවිට නැවතත් කුමකදෝ ගැටුණු ඕ හට එකවරම එය අල්ලා ගන්නට හැකිවිය.  එය දෑතින්ම අල්ලාගත් ඔහු අවට නිරීක්ෂනය කරන්නට විය. ගන්ධබ්බයාගේ හිස වැදී ඇත්තේ රූපවාහිණී සංඥා කුළුණකය ඉන් රූටා පහලට වැටෙද්දී නැවතවරක් එම කුළුනේම හරස් පට්මක වදිද්දී ඔහු විසින් එය අල්ලාගෙන ඇත.

මේ සිටින්නේ කොහිද ?, මෙතැන මේ තරම් හුරුපුරුදු ඇයි?  
ගන්ධබ්බයා දෑස් පිහිදා වඩාත් සෝදිසියෙන් අවට පිරික්සන්නට විය. අන්ධකාරය හැර කිසිවක් පෙනේනට නැත තද සීතල මිසක කිසිවක් දැනේනට නැත. ගන්ධබ්බයා දෑස් පියාගත්තේය.

ගන්ධබ්බයාට ඒ සුවඳ දැනේනට විය, සැක හැර දැනගන්නට මෙන් නැවත් ඔහු සුවඳ අල්ලා බැලීය . ඔව් ඒ සුවඳම තමයි.. ඒ සුවඳම තමයි..  මගේ සුවඳ, මගේම සුවඳ...... ගන්ධබ්බයාට කියැවින.

ගන්ධබ්බයාගේ සිතට හෙමින් හෙමින් අතීත සිදුවීම් පෙළගැසෙන්නට විය..
එවකට එනම් මීට අවුරුදු විසි පහකට පෙර ගන්ධබ්බයා (එකල වෙනත් නමක් භාවිතා උවද පහසුව සඳහා ගන්ධබ්බයා ලෙසම නම් කෙරීමි) දාහත් හැවිරිදි වියේ පසුවිය. ඔහු ගේ පියා උළු ෆැක්ටරියේ කම්කරුවෙකු විය. අම්මා රැකියාවක් නොකල අතර ඇය අක්කරයක පමණ වූ ගෙවත්තේ එළවලු වගාකර ඉරිදා පොලට එන මුදලාලිලාට විකුණා ඔහුගේත් නංගීගේත් වියදම් ගැන බැළුවාය. පාසැලේ එකොලොස්වන ශ්‍රේණියේ ඉගැනුම ලැබූ ගන්ධබ්බයා පාසලේ දීප්තිමත් ශිෂ්‍යයකු නොවූවද ඉගැනුමෙහි හා බාහිර ක්‍රියාකාරකම් වලදී දක්ෂතා දැක්වූ ශිෂ්‍යයකු විය. පාසැල් අවසන් වී සවස් කාලයේදී මවගේ එලවලු වගාවට උදව් පදව් කිරීම ගන්ධබ්බයා විනෝදාංශයක් කොටගත්තේ ඉන් තමන්ටත් දොළොස් හැවිරිදිවූ නැගණියටත් උගැණුමට අත්වැලක් වන නිසාමය.

එක්තරා දිනෙක සියල්ල වෙනස් කල දිදුවීම සිදුවිය. නිමල් යනු ගන්ධබ්බයාගේ පන්තියේම ඉගෙනගත් ඔහුගේ මිතුරෙකි. ටික දිනක පටන් නිමල් ගේ හැසිරීමෙහි වෙනසක් ගන්ධබ්බයාට නොදැනුනා නොවේ එහෙත් එය ඔහුගෙන් අසන්නට තරම් අවශ්‍යතාවයක් ගන්ධබ්බයාට නොතිබිණ. එදා පාසැල ඇරී නිවසට එන ගමන් නිමල් රහසින් මෙන් ගන්ධබ්බයාට පැපසූ දෙය සියල්ල කණපිට පෙරලන්නට තරම් විය.

මචං අද පොඩි වැඩක් තියෙනව අද හවස පුළුවන්නම් වරෙන්

මොනව ගැනද?”

රටේ දැං සිද්දවෙන දේවල් ගැන තමයි, විස්තර ආවම කියන්නම් හවස හතර වෙන කොට තොටුපොල ගාවට වරෙන් මම එතැන ඉන්නවා, නොවැරදීම වරෙන්

නිමල් කලේ ඉල්ලීමක් ද නියෝගයක් දැයි එකවරම ගන්ධබ්බයාට වෙන්කරගත නොහැකි උවත් ඔහුට එරෙහි විය නොහැකි ලෙස තමා අවනත කරගැනීමට මිතුරා සමත්ව ඇතිබව ඔහුට වැටහින. 

නිවසට පැමිණි ගන්ධබ්බයා දෙවරක් නොසිතාම මිතුරා කියූ වේලාවට නාන තොටුපොල වෙත ගියේය. ඒ වන විටත් නිමල් සහ තමාගේ පන්තියේ උන් තවත් සගයන් හතර දෙනෙකුත් එම ස්ථානයට පැමිණ සිටියහ. නිමල් ඔවන් සියළු දෙනාටම තමා පසුපස පැමිණෙන ලෙස දන්වා සිටී අතර ගන්ධබ්බයා සහ අනෙක් සියළු දෙනා කිසි කථාබහකින් තොරව නිමල් පසුපස යන්නට විය.

ලඳු කැලය තුල විනාඩි විස්සක පමණ ගමනකින් පසු ඔවුන් ගල්තලාවකට සේන්දු වූ අතර එහි කෙළවරක වූ විශාල නුග ගස යට තවත් හත් අට දෙනෙකුගෙන් යුත් පිරිසක් විය. ඔවුන්ද තමන්ගේ වයස හා සමාන වයස් වල උන් පිරිසක් බව ගන්ධබ්බයාට නිරීක්ෂණය විය. මේ දෙපිරිසම එක්වූ පසු එතැන දොළොස් දෙනෙකුගෙන් සමන්විත විය, ඔවුනොවුන් අතර වැඩි කථාබහක් නොවුන අතර යමකුගේ අතෙහි පොත් පත් කිහිපයක් තිබෙනු ගන්ධබ්බයාට දැක ගන්නට හැකිවිය.

කාලය මිනිත්තු කිහිපයක් ගතවන විට ලඳු කැලය අතරින් තවත් දෙදෙනෙකුගේ රුව මතු විය. තමන්ට වඩා අවු 8 ක් 10 ක් පමණ වැඩිමහළු යැයි කිව හැකි මොවුන් සැබෑ වයසට වඩා පෙනුමින් වයස්ගත අයවලුන් විය. මුහුණ පුරා අපිලිවලට වැවු රැවුල, කාලෙකින් පනාවක නොගැටුනු හිසකෙස් සහ අන්ඩ දමා තිබූ කලිසම සහ කමීසය මෙම පෙනුම ඇති කරන්නට ඇතිබව ගන්ධබ්බයාට වැටහිණ. සියල්ල කෙසේ අපිලිවෙල උවත් ඔවුන්ගේ තීක්ෂණ බැල්ම මොවුන් සියළුදෙනා තිගැස්මට ලක්කරන්නක් විය. 

පසුව පැමිණි අමුත්තන් දෙදෙනාගෙන් අයෙකු මුලින්ම කථාකරන්නට විය.

සහෝදරවරුණි, අප සමග එකතුවන්නට පැමිණි ඔබ සියලුදෙනා සාදරයෙන් පිලිගනිමු. එදා අප අතීත සහෝදරයන් අතින් සිදුවු ඒ අයිතිහාසික වැරැද්ද නිවරදි කරලීම අප සියළු දෙනා උරමත පැටවූ දැඩි වගකීමක්. මක්නිසා ද යත් මේ අධම පාලන පැලැන්තිය විසින් පීඩනයට පත්කර සිටින නිර්ධන පංතිය වෙනුවෙන් ........... ......................................................................................................................................................................................................... ඉතින් මේ භාරදූර වගකීම මේ සහෝදරවරු සතුයි. අප දිවි දෙවනුකොට මාතෘභූමිය රැකගත යුතුයි

ආකර්ෂණීය ලෙස විනාඩි හතලිස්පහක් පමණ කාලයක් සිදුකල ඔහුගේ දෙසුම ගන්ධබ්බයා අසා සිටියේ ධ්‍යානයකට සමවැදී සේය. එය ඒ තරම්ම සිත්ගන්නාසුළු විය. අවසානයේ තම දිවි දෙවනු කොට මව්බිම රැකගනිමු යන අදහස සියලුදෙනාගේ සිත්තුලට කාවද්දන්නට මේ අසිරිමත් දේශකයා සමත්ව තිබිණ. ඉන්පසු පැමිණ සිටී අයවලුන් අත තිබූ පොත්පත් කිහිපය එකිනෙකා අතර හුවමාරු කරගත් අතර ගන්ධබ්බයාට ද ඉන් එක් පොතක් ලැබිණ. 

නිවසට පැමිණි ගන්ධබ්බයා තමන්ට ලැබුණු රුසියානු නවකථාවක සිංහල පරිවර්ථනයක් වූ එම පොත එක හුස්මට කියවාගෙන ගිය අතර මද දුරක් කියවද්දී එහි ප්‍රධාන චරිතය තමන්ට ආරූඩ කරගන්නට විය. තම දෙමව්පියන්, සොයුරු සොයුරින්, පෙම්වතිය යන සියළු දේ අතහැර විප්ලවය වෙනුවෙන් පෙනීසිටින තම අරමුණ වෙනස් නොකරමින් ඒ වෙනුවෙන්ම කැපවී අවසන විප්ලවය වෙනුවෙන්ම දිවිපුදන චරිතයක් ඇතුලත් කථා පුවතක් එම පොතෙහි විය.

දැන් තමා නව පනක් ලද්දකු බව ගන්ධබ්බයාට වැටහිණ මේ සියල්ලට වඩා මාතෘභූමිය බේරාගත යුතුයි. අසිරිමත් දේශකයාගේ වදන් ඔහුහේ සිතේ රැව් පිළිරැව් දෙන්නට විය. 

දැන් ගන්ධබ්බයා එළවලු කොරටුවට යන්නේ කලාතුරකිනි. වැඩි සිනහවක් නොමැති ඔහුගේ මුහුණ නිතරම බැරෑරුම් ස්වරූපයක් දිස් වන්නට විය. එහෙන් මෙහන් වැවුනු දැලි රැවුල කපාගනින් යැයි තාත්තා විටින් විට කීවද ඔහු එය නෑසූ කන්ව හිදි. පාසැලේ අධ්‍යයන කටයුතු ආවාට ගියාට සිදුකරන ඔහු තම සගයන් සමග රහසින් හුවමාරු කරගත් පොත් පත් පරිශීලනය කිරීමත්, සතියට වරක් පවත්වන ගල්තලාවේ දේශණයට සහභාගී වීමත් ඉතා උනන්දුවෙන් සිදුකරන ලදී.
 
කාලය දෙමසක් පමන ගතවන්නට ඇත. දිනක ගල්තලාවේ දේශණය අවසානයේ ගොනි පඩංගුවකින් ඔතන ලද පත්‍රිකා ඔවුන් වෙත දී, එදින රාත්‍රී කාලයේ කඩමණ්ඩියෙත් පාසැලෙත් පංසල අවටත් ඒවා සූක්ෂම ලෙස අලවන ලෙස දේශකයන් වූ සහෝදරවරුන් විසින් මොවුන්වෙත උපදෙස් දෙන ලදී. එම පත්‍රිකාවල සඳහන් වූයේ පාලක පන්තියට එහිව ලියන ලද සටන්පාඨයන්ය. එදින රාත්‍රියේ ඉතා පරීක්ෂාවෙන් යුක්තව සහෝදරයන් විසින් පවරන ලද කාර්යය ගන්ධබ්බයා සහ පිරිස ඉතා සාර්ථකව ඉටුකරන ලදී. 

ටික දිනකින් පාසැලේ සිසුන් සහභාගී කර ගෙන උද්ගෝෂණ ව්‍යාපාරයක් ද, කොළඹට කිරි අපිට කැකිරි”, “මවුබිම නැතිනම් මරණය”, “ මිණීමරු -- ගෙදර පලවැනි සටන්පඨ වලින් පාසැලේ බිත්ති සරසන්නටද මොවුන් පිරිසට හැකිවිය. මේ කරුණු කටයුතු හේතු කොටගෙන තමන්ද මව්බිම දුෂ්ඨ පාලක පන්තියෙන් ගලවාගැනීම වෙනුවෙන් සටන්කරන සටන්කරුවකුයි යන හැඟීමක් ගන්ධබ්බයාට විය.
 
සහෝදරවරු හෙට උදේ හතට මෙතැනට එන්න ඕන සතියක වැඩමුළුවක්
දිනක් ගල්තලාවේ දේශණය අවසන් වූ විට ගන්ධබ්බයා ඇතුළු තවත් කිහිපදෙනකුට සහෝදරවරු පැවසීය. දැං දෙමව්පියන්ගේ කීමට අවනත නොවන ගන්ධබ්බයාට ඒ කුමටදැයි අසන්ට අවශ්‍ය නොවීය පසුදා පාන්දර හත වන විට සතියකට අවශ්‍ය කරන කලමනා සහිතව සියළු දෙනා ගල්තලාව මතවිය. ඔවුන් කැටිව යන්නට පැමිණි සහෝදරයාගේ මග පෙන්වීම මත ඔවුන් තවත් පැය එකහමාරක පමණ කාලයක් කැළය තුලටම ගමන් කරන්නට විය, ඉන්පසු එලැඹියේ වනය තුල වූ එලිමහනකටය.

එතැන ගන්ධබ්බයාට නැවුම් අද්දැකීම් ගෙන එන තෝතැන්කක් විය,  ඇත්තෙන්ම එතැන සටන් පුහුණු භුමියක් විය. සගැවී සිට යමක් නිරීක්ෂණය කරන ආකාරයත්, කටු අකුල් වගුරුබිම් ආදිය තරණය කරණ අයුරුත් කම්බි වැටවල් කිසිවෙකුට හසු නොවන සේ කපාදමන අයුරුත්. සගවී සිට සතුරු ඉලක්ක වලට පහර දෙන අයුරුත්, දිගු වේලාවක් ජලය යට හුස්ම අල්ලා සිටින්නටත්, පුහුණු කරණු ලැබීය. දින දෙකක වෙහෙසකර පුහුණුවකින් පසු එළැඹි තුන්වන දිනය අවි පුහුණුව සඳහා වෙන්විය. ජීවිතයේ පලමුවරට ගිණිඅවියක් අතගෑ ගන්ධබ්බයා ඉලක්කයට වෙඩිතබන්නට පුහුණුවිය. සතිය අවසානයේ ඔවුන් සියඵ දෙනා නැවතත් නිවෙස් බලා ආවේ ඕනෑම හදීසි කැඳවීමකදී ඹවුන්හා එක්වන බලාපොරොත්තුවෙනි.


මෙසේ සති කීපයක් ගත විය. ගන්ධබ්බයා දැන් පාසැල් යන්නේ සංවිධානයේ තොරතුරු දැනගැනීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත්ය. පාලක පන්තියේ මර්ධනයද මේ වන විට උත්සන්න වෙමින් පැවතිණ, කෙසේ උවත් තම සංවිධානය මහින් කරනලද පහරදීම් ගැන නිතර ගුවන්විදුලියෙන් අසන්නට ලැබූ ගන්ධබ්බයාගේ සිතට සිහින් සතුටක් එක්විය. 

දිනක් හවස කඩමණ්ඩියට ගොස් නිවසට පැමිනෙන ගන්ධබ්බයාට නිවස අසල කිසිවකු රැදී සිටිනා බව දක්නට ලැබීය. කවුරුන්දැයි හදුනාගන්නට නොහැකි ලෙස ඔහුගේ මහුණ සහ ශරීරය ගෝනියකින් ආවරණය කරතිබිණ. තමා නිවසෙහි කඩුල්ල ලගට පැමිණෙන විට මේ ගෝනියක් පැළඳි මිනිසා හිස ඉහලටත් පහලටත් වනන්නට විය. ගතවූයේ නිමේශයකි අවට ගස් සහ පඳුරු අතර මුවාවීසිටී කිහිපදෙනෙක්  පැන එකවරම ගන්ධබ්බයා ග්‍රහණයට ගත්තේය. ගන්ධබ්බයාගේ කාමරය දෙවනත් කල ඔවුනට සංවිධානය විසින් දෙන ලද පොත් පත් කිහිපයක්ද  රාත්‍රියේදී අලවන්ට දුන් පත්‍රිකා මිටියක් ද හසුවිය. 

ගන්ධබ්බයාගේ දෑත් පිටුපසට කර ගැටගැසූ ඔවුන් ජීප් රථය තුලට ඔහුව දමා රැගෙන යන ලදී. තම මවත් නැගණියත් විලාප දෙනවා ගන්ධබ්බයාට ඇසිණ. එහෙත් ඒ හඬ ඔවුන්ගේ දෙසවන් වලට නොවැකුණා මෙන් විය. ජීප් රථය තුල දී ඇති පදම් පහර කෑ ගන්ධබ්යා ඉන්පසු පාළු ඉඩමක මැද තිබූ ගොඩනැගිල්ලක් තුලට ගෙන එනු ලැබීය. 

ඉන්පසු එළැඹියේ ප්‍රශ්නෝත්තර වටයයි.

තමන්ගේ සංවිදායේ මේ දිනවල සැලසුම් කරන්නේ මොනවාද? 
සංවිධානයේ නායකයින් කවුද? 
අවි ආයුද තිබෙන්නේ කොහිද? 
මේ පොත්පත් ලබාදුන්නේ කවුද? 
පත්‍රිකා ලියන්නේ කවුද? 
ඒවා අලවන්නේ කුමකටද? 

මෙකී නොකී බොහෝ ප්‍රශ්ණ ඔහුගෙන් අසනු ලැබීය. පිළිතුරු නොදෙන වාරයක් වාරයක් පාස එල්ලවූයේ පොලු ප්‍රහාරයන්ය. නැත්තම් කස ප්‍රහාරයක්ය. ඒ බොහෝ ප්‍රශ්ණවලට පිළිතුරු ගන්ධබ්බයා නොදැන සිටී අතර දන්නා ඒවාටද පිළිතුරු නොදී මුණිවත රකිනුයේ තම සගයන් පවා නොදීමේ උදාරතර හැඟීම පෙරදැරි කරගෙනය.

පහරකෑම් වලින් අනතුරුව පිළිතුරු ලබානොදුන් බැවින් ගන්ධබ්බයා ඊලග කාමරය වෙත ගෙනයනු ලැබීය. සීතල සිමින්ති පොවේ වැතිර සිටී ගන්ධබ්බයාගේ සියොලගම රිදුම් දෙන්නට විය තමන්ගේ අතපය තමන්ට වාරු නැතිවග ඔහුට දැනේනට විය. පිපාසය ඔහු කරා ආ අතර නින්ද අහලකටවත් නොවීය. 

පසුදිනට පහන් විය මුලින්ම ජල ප්‍රහාරයකින් දිනය ඇරඹිණ, ගන්ධබ්බයාගේ කකුල් වලට පිටුපසින් පොලුකැබැල්ලක් තබා දෑත් එම පොළු කැබැල්ලට පිටුපසින් ගෙන කකුල්වල වලලුකර අත්වල මැණික් කටුත් එකට එක් කර තදින් ගටගසනු ලැබීය. දැන් ඒ පොලු කැබැල්ල දෑත් සහ දෙපා අතර සිරවී ඇත. ඉන්පසු හැඩිදැඩි උන් දෙදෙනෙකු විසින් එම පොලු කැබැල්ල ඔසවා දෙපසින් බාල්ක දෙකක එල්ලල ලදී. දැන් ගන්ධබ්බයා වවුලෙකු මේන් එල්ලී ඇත. ඔහුට එකවරම හැඩුම් ආයේය. ඇතිවන වේදනාව නිසා කෑගන්නට විය, නමුත් ගැලවීමක් නොවින. එක පිට එක එල්ලවූ කස පහරවල් ඔහුගේ පිට පුපුරුවා රත්පැහැ කරන්නට විය.
පැයක පමණ සංග්‍රයකින් පසු නරුමනයන් නැවත ප්‍රශ්ණකරන්නට විය.  එහෙත් ගන්ධබ්බයාගෙන් සුභවාදී පිළිතුරක් නොලැබිණ.

තවත් දිනක් උදාවිය එදින තම කුටියට ආ නරුම රැල ඔහු නිරුවත් කලේය. දන ගසාගෙන හිස බිමට තබාගන්නට අණකළේය අණට කීකරු වනවා හැර විකල්පයක් නැත. දැන් ඔහුගේ පශ්චාත් භාගය ඉහලය හිසත් දණහිසත් පොලව මතය. නරුමයකු අතවූයේ අඟල් අටක් පමණ දිග තුන්කාලේ පීවීසී බටයකි හේ එම බටය ඔහුගේ අධෝ මාර්ගයෙන් අතුල් කරන්නට විය. ගන්ධබ්බයාට මහත් වේදනාවක් දැනිණ ඔහු කෑගසන්නට විය. එහෙත් ඔවුන්ගෙන් ලැබුනේ වියරු සිනහවක් පමණී. තවත් නරුමයකු අත කටුකම්බියක් විය ඔහු එම කටුකම්බිය බටය තුලින් ඇතුල් කර එකවරම බටය ඉවතට ඇද්දේය. වයස අවුරුදු දාහතක් වූ ගන්ධබ්බයාට බිව් මවිකිරි සිහිවිණ. දැසින් කඳුලු වැගිරිණ. ඔහු හිස පොලෙවෙහි ගසමින් වේදනාව පිටකරන්නට විය. නරුමයා සිනහසෙමින් කටුකම්බිය කරකවන්නට විය. ගන්ධබ්බයා සිහි සුන්වී සිමෙන්ති පොවමත ඇද වැටිණ.

දින කීයක් මෙතැන ගතකලාදැයි ගන්ධබ්බයාට මතක නැත. දිනක් රාතියේ තමන් ලොරියකට නංවාගන්නවා ගන්ධබ්බයාට අසිහියෙන් මෙන් මතකය ගල් ගොඩැලි වංගු සහිත මාර්ගයක් දිගේ ලොරිය ගමන්කරයි වදකාගාරයේ වූ අධික රස්නය වෙනුවට දැඩි සීතලක් දැනෙන්නට විය.
 
බැහැපියව්

ලොරියෙහි තමා පමණක් නොව තව බොහෝ පිරිසක් ඇතිබව දුටුවේ එවිටය. සියළුදෙනාගේම දෑත් ලණුවකින් එකිනෙකට ගැටගසා තිබිණ. 

යමව්

ඉදිරියේන් ගමන්ගත් නරුමයාගේ පසුපසින් ඔවුන් ඇදෙන්නට විය වධක බන්ධනයන්ගෙන් හෙම්බත්ව සිටී ඔවුන් ඇද වැටෙමින් කඳුකර අඩිපාරක ගමන් කරන්නටවිය. පැයක පමන කාලයක ගමනකින් පසු ඔවුන් කඳු මුඳුනට ලඟා විය. ළඳු කැලෑ පෙදෙසක් වූ මේ බිම තැනක හාරන ලද විශාල වලක් විය ඔවුන් සියළු දෙනා වල අසලට රැගෙන ගොස් වලට මුහුණලා දනගස්වන ලදී තමාගේ ගෙල පිටුපස සීතල යකඩ බටයක් වදිනවා ගන්ධබ්බයාට දැනිණ. තමා මුහුණදුන් වද වේදනා සියල්ලහි වේදනාව හදට දැනෙන්නට විය සීතල රාත්‍රියේ නිරුවත් සිරුරින් දහඩිය පිටවන්නට විය. ඉබේම පිටවූ මුත්‍රා තම දෙපාදිගේ බේරෙනවා ගන්ධබ්යාට දැනිණ. නරුමයාගේ අතඇති අවියේ කොකා ගැස්සෙනවා ඇසින. 

සියල්ල නිමාවිය, ඒ සමගම දැඩි සහැල්ලුවක් දැනෙන්නට විය.
සැබෑ ගන්ධබ්බයා ඉපැදින. වසර විසිපහක්ම ඔඹමොඹ සැරිසැරූ ගන්ධබ්බයා නැවතත් තමන් මරා දැමූ තැනට පැමිණ ඇත.
ගන්ධබ්බයාගේ නෙතට කඳුලක් නැගිණ.
රූපවාහිණි කුළුනෙන් නික්මුණු ගන්ධබ්බයා ඈතට පාවියන්නට විය.
මේ පාදඩ භූමියෙහි යලි කිසිදිනක නූපදීවා.. ඒ ගන්ධබ්බයාගේ අවසන් පැතුම විය.

 රූපවාහිණි කුළුනෙන් නික්මුණු ගන්ධබ්බයා ඈතට පාවියන්නට විය. 


-නිමි-
ප/ලි නම් ගම් සියල්ල මනඃකල්පිතයි.
පිංතූරය මගේය.



Monday, March 24, 2014

කොකා අයිලන්ඩ් සහ කොක්



හිතවතුනි අද මම දාන්න හදන පොස්ට් එක පළවෙනි පොස්ට් තුනටම වඩා ටිකක් වෙනස්. මට හිතුනා ටිකක් බර දේවල් ලියන්නේ නැතිව නිකං අධ්‍යාපනේ පැත්තෙන් යන මාතෘකාවක් ගැන ලිපියක් දාන්න. කොටින්ම කිව්වොත් අද මම දාන්නේ කොක්කු ගැන. මේ ගැන මට ලියන්න හිතුනේ අපූර්විගේ බ්ලොග් එකේ පෙන්ගුයින්ලා  ගැන තිබුන පොස්ට් එකයි අර සැමන් මාලුවෝ ගැන තිබ්බ පොස්ට් එකයිඒ වගේම රාජ්ගේ නවාතැනේ අර බල්ලොගැන තබ්බ පොස්ට් එකයි කියෙව්වම තමයි, තව තව කට්ටියගේ තව තව වටිනා පෝස්ට් ඇති ඒත් දැනට මට මතක විදියට මම සත්තු ගැන කියවල තියන පෝස්ට් වලින් මතක මේවා තමයි.

රූපය 01 - කොක්කු
හරි අපි දැං බලමු මේ කොක්කු කියන්නේ මොක්කුද කියලා අපේ මේ පෘතෘවියම ගත්තොත් මේක තුල කොක්කු වර්ග 17 ක් විතර ජීවත් වෙනවා මේයින් වර්ග 9 ක් විතර අද වඳ වීමේ තර්ජයනකට මුහුණ පාල තියෙනවා. මේ කොක්කු සිකොනිෆෝමේස් (Ciconiformes) කියන ගෝත්‍රයට තමයි අයත් වෙන්නේ. ඒ වගේම තමයි මේ කොක්කු අතරින් අපේ මේ ලංකාවේ සිකොනිඩේ (Ciconidae) ත්‍රෙස්කියොර්නිතිඩේ (Threskiornithidae) ආර්ඩේයිඩේ (ardeidae) හා ෆීනිකොප්ටෙරිඩේ (Phoenicopteridae) යන කුල හතරට අයත් කොක්කු දැක ගන්න පුළුවන්. අපේ නම් වලින්ම කිව්වොත් කලපු කොකා, ලොකු සුදු කොකා, අලි කොකා, සුදු කොකා, හරක් කොකා, කණ කොකා, පොඩි කොකා, රෑ කණ කොකා, රෑ කොකා, මැටි කොකා, කුළු කොකා හා සියක්කාරයා වගේ කොක්කු මේ ලංකවේ ජීවත් වෙනවා

මෙ වගේ කොක්කු ගස්මුදුන්වල කදු ප්‍රපාත වල එහෙම ලස්සනට කෝටු වලින් කූඩු හදා ගන්නවා කොකාගේ ගෑනු සතා තමයි කෙහිනිය කියන්නේ මේ කෙහිනිය වරකට බිත්තර 3ක්-6ක් විතර දානව.සාමාන්‍යෙන් මේ කොකේගේ ආයු කාලය අවුරුදු 10ක් 11ක් විතර වෙනවා.

මේ බ්ලොග් අඩවියේ නිළ අයිතිකාරයා වන විදානේට පහුගිය මාසේ ලැබුනා ලොකු දේශගාටනකයට යන්න අත්තටම කිව්වොත් ඒක හරිම වැදගත් උනා මේ ලිපිය සකස්කරන්න, ඇත්තටම යන්න ලැබුනේ කොක්කුත් එක්ක දිවි ගෙවන්න පුළුවන් ලස්සන දූපතකට මෑ ඇටයක හැඩය ගත්ත මේ දූපතේ වාසය කළේ කොක්කු විතරමයි අවුරුදු ගණනාවක්ම මේ දූපතේ වාසය කරල විදානේ හොයාගත්තා මේකේ ඉන්න කොක්කු විශේෂ කීපෙකම තොරතුරු රාශියක්. තනියම ඒ තොරතුරු හංගං ඉන්න හොදනැති හින්දා ඕං ඉතිං කට්ටියටම දැනගන්න මේ මෑ ඇටයක් වගේ දූපතේ ඉන්න කොක්කු ගැන හොයාගත්ත කරුණු කාරණා මේ පොස්ට් එකට එකතු කරන්න හිතුවා..

01 විශේෂය - පරණ කොකා.

ප්‍රමාණයෙන් විශාල ශරීරයක් හිමි මෙම කොක් විශේෂය පැයයෙන් නිල් වන අතර රතු සහ කහ පැහැයන් ශරීරයේ තැන්න් තැන ඇත. මෙම දූපතටම ආවේණික කොක්කු විශේෂයක් වන මොවුන්ගේ ප්‍රධාන ආහාරය ද මෙම දූපතමය. මොවුන් මෙම දූපතේ සියලු පාලන කටයුතු මෙහෙයවයි. මෙම කණ්ඩායමේ නායක රතු පටියක් කරබැඳි කොකාට දැඩි කොක් ආකර්ෂණයක් ඇති අතර එම ආකර්ෂණය මනාව හසුරුවාගනිමින් තමන්ට අවශ්‍ය අවස්ථාවන් වලදී කොක් මතය විමසා තමන්ට රිසි පරිධි මේ කොක් දූපත පාලනය කරයි. මෙම කොක් විශේෂය සැලකීමේදී කොක් දේශහිතේශී, කොක් දේශමාමක, කොක් ආගමික, කොක් සදාචාර, කොක් මැර, කොක් දූෂණ මේකී නොකී සියළු බලවේග ඒකරාශී කර සාදාගත් කොක් සංධානයක් වන අතර මේ සියල්ලහි බලය කේන්ද්‍රගතවී ඇත්තේ එහි ප්‍රධාන නායකයා වෙතය.
 රතු පටියක් කරබැඳි කොකා

02.  විශේෂය - පමල කොකා නොහොත් පාලං කොකා.


අතීතයේදී පල කොකා ලෙස හැදින්වූ මෙම කොක් විශේෂය වර්ෂ ගනණාවක් මෙම දූපත පාලනය කල කොක් විශේෂයක් විය මෙම කොක් විශේෂය දැනට අවුරුදු විස්සක පමන කාලයක සිට පමල කොකා නැතහොත් පාලං කොකා ලෙස හැඳින්වීමට පටන්ගත් අතර මේ වන විට මුල් නම අවභාවිතවී පසුව ආ නං සුලභ ලෙස භාවිත වෙයි මෙම කොක් රැගේ නායකයා සෙසු කොකුන් විසින් හඳුන්වනුනේ පනනැති කොකා යනුවෙනි. මොවුනට පරණ කොක්කු ලෙස පරිණාමය වීමට හැකියාව තිබුණත් එහි නායක කොකාට සහ අනෙකුත් කොකුන්ට එහි කිසිම අවශ්‍යතාවක් නොමැති බව පෙනී යයි, මෙම කොක් රැලේ නායක තෙමේ රැලේ නායකත්වය පමණක් රැක ගැනීමේ දැඩි උත්සාහයක නිරත වෙයි. මෙහි සිටින අනෙකුත් කොක්කුන්ද රැලේ මුදුනා වීමට පමණක් දඟලන අතර පරණ කොක්කු ලෙස ජීවත් වන්නට කිසිලෙස නොසිතයි. පරණ කොක් රැල විසින් වසර එක හමාරකට දෙකකට සැරයක් මෙම කොක් විශේෂය ආක්‍රමණය කර මෙම මොවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් පරණ කොක් විශේෂයට ඈදා ගනී. තව වසර කීපයකින් වදවී යතැයි අපේක්ෂා කරන මෙම කොක් විශේෂයෙහි ප්‍රධාන ආහාරය වන්නේ කුලල්ය.

  පනනැති කොකා

03 විශේෂය - පරවුනු කොකා

පැහැයෙන් රතු පැහයක් ගන්නා දැඩි මතධාරී කොක් විශේෂයක් වන මොවුන් කොක් දූපතහි වන සියලු කටයුතු දැඩි ලෙස විවේචනය කරයි. කොරහේ කිඹුලන් දකින මොවුන් අතරින් බොහොමයක් කොක්කුන් කථිකත්වයට මනා දක්ෂතාවයක් පෙන්වයි. මෙම කොකුන් මින් පෙර පරණ කොකුන් සමග එක්ව කටයුතු කල අතර එම කාලය ඔවුන්ගේ ස්වරණමය යුගය ලෙස හැඳින්විය හැක. එකම දේ විවිධ ආකාරවලින් නැවත නැවත කියවීමේ රෝගයකට ගොදුරුවී ඇති මෙම විශේෂය මේ වන විට දැඩි ලෙස වඳවී යාමේ තර්ජනයකට ලක්ව ඇත. මොවුන් මෙම තත්වය වෙනස්කරගැනීම සඳහා රැලේ නායකත්වයද මාරුකරමින් අත්හදා බැලීම් රාශියක් සිඳුකරගෙන යයි. මෙම කොකුන් ගේ ප්‍රධාන ආහාරය වන්නේ සමාජකොක් වාදයයි.

පරවුනු කොකුන්

 04. විශේෂය -  පහිල කොකා

මෑත කාලෙයේදී මෙම දූපතහි සෑදුනු කොක් විශේෂයක් වන මෙම කොක් විශේෂයෙහි වැඩිපුරම ඇත්තේ පරණ සහ පමල කොක්කුන්ගෙන් බිදී ආ කොටස්ය. මින් වසර කීපයකට ඉහත පටි කොකුන් මෙම දූපතෙන් පලවා හැරීම සඳහා දැඩි කැපවීමක් කල කොකෙක් මෙම කොක් විශේෂයට නායකත්වය සපයයි. දැඩි නීති සමුදායක් යටතේ පාලනය වන මෙම කොක් විශේෂය මේ වනවිට සැලකිය යුතු මට්ටමේ මවිසින් පසුව විස්තර කරනු ලබන පලණි කොකුන්ගේ ආකර්ෂණයකට ලක්ව ඇත. මොවුන්ගේ ප්‍රධාන ආහාරය වන්නේ කලවැද්දන්, සුදු කොඩි සහ මයිල් ය.

05. විශේෂය - පාඩි කොකා.

පරණ කොකාගේ හා පමල කොකා ගේ මුල් අවස්ථාව වන මෙම කොක් විශේෂය හි වැඩිපුරම ඇත්තේ ඉහත සඳහන් පරණ සහ පාමල කොක්කුන්ගේ ‍ඥාති කොක් පැටවුන්ය. දුපතේ කොකුන් අතර පොඩි පොඩි තරග වලට ඉදිරිපත් වන මෙම පාඩි කොකුන් තම දක්ෂතාවය හැකියාව, වාසනාව අනුව පසුකාලීනව පාලං කොකෙකු හෝ පරණ කොකෙකු බවට පත්වෙයි. මොවුන්ගේ ප්‍රධාන ආහාරය කෝක්‍රීට් පාරවල් සහ බෝක්කු වන අතර සමහර ප්‍රමිතියක් නොමැති පාඩි කොකුන්, තම භෝජනය ලෙස කුඩා කෙහිනියන්, විදෙශික කෙහිනියන් තොරාගනී.

06. විශේෂය - පවුල් කොකා නොහොත් පාකිල කොකා

නර්ථනයෙහි, රංගනයෙහි, සහ ගායනයෙහි දක්ෂ මෙම කොකුන් විශේෂය වෛවර්ණ පැහැයක් ගනී, කාලාණුරූපිව ඉතා දක්ෂලෙස සියළු කොකුන් සමග කෛරාටිකකමින් වාසය කරනා මොවුන්ගේ ප්‍රධාන ආහාරය මා පසුවට විස්තර කරන පලණි කොකුන්ගේ රසඥතාවයය. මොවුන්ගේ ප්‍රධාන කාර්ය භාර්යය වන්නේ පරණ, සහ පමල කොකුන්ට කඩේ යාම වන අතර ඒ සඳහා මොවුන්ට බොහෝ වරදාන වරප්‍රසාද රාශීයක් ලැබේ. මෙම කාලය වන විට මෙම කොක් විශේෂයෙහි නාඹර කෙහිනියන්ට බොහෝ සුභ කලදසාවක් උදාවීඇත. 

පාකිල කොකුන්

07. විශේෂය - පමඩි කොකා.

මවිසින් ඉහත සඳහන් කරන ලද කොක් විශේෂයන්හි ක්‍රියාකරකම් තමන්ට කැමති පැහැයකින් පැහැගන්වා කැටයම් කපා සුදුසු පරිදි සකසා පසුව විස්තර කරනු ලබන පලණි කොක්කුන් වෙත නිකුත් කරයි. නිරන්තරයන්ම අසූචි අනුභව කරන මෙම කොක් විශේෂය ඇති දේ නැති කිරීමටත් නැති දේ ඇති කිරීමටත් කෙළ පැමිණියෝ වෙති. ඕනෑම මළදානයක් කිසිම හිරිකිතයක් නොමැතිව විකිණීමට තරම් දක්ෂයෝ වන මොවුන්  කොක්කුන්ට බේගල් ඇදබාන්නෝ ලෙස නම් දරා සිටිති.

08. විශේෂය - පලණි කොකා.

මෙම කොක් දූපතෙහි වාසය කරන විශාලතම ගහනය සහිත කොක් විශේෂය මොවුන් වන අතර ඉහත සඳහන් කල සියළු කොකුන්ගේ වහලුන් බවට පත්වී ඇත. උපතින්ම කෙසඟ සිරුරක් හිමි මෙම කොක් විශේෂයෙහි ප්‍රධාන ආහාරය වන්නේ *ඉල්ලන් කෑම* වන අතර තොල්මිටි දහ දත්කූරූ අමතර ආහාර වශයෙන් ලබාගනී. සෑම දෙයක් ම දෝතටම වඩින තෙක් මග බලා සිටින මෙම කොක් විශේෂයට අද සිදුවන දේ හෙට අමතක වන තරම් වන ඉතා දරුණු රෝගයක් වැළදී ඇත. කුමන තාඩන පීඩන වලට මුහුණ දුන්නත් මවිසින් ඉහත සඳහන්කළ කොකුන්ට දැඩිලෙස ඇළුම්කරයි එහෙත්  එම කොකුන්නම් සිතනුයේ මෙම පලණි කොකුන් ඕනෑම හූණු බිත්තරයකින් රැවටිය හැකි බවයි.

 පළණි කොකුන්

09. විශේෂය - පටි කොකා.

ඉතා දරුණු කොක් විශේෂයක් වන මෙම කොක් විශේෂය පසුගිය කාලයේ මෙම දුපතෙන් කොටසක වෙනම කොක් රාජ්‍යයක් සදහා දැඩි සටනකට යොමුවුනු පිරිසක් වෙති. දැනට මෙම දූපත තුල මොවුන් දරුණුලෙස වඳවී ඇති මොවුන් ගෙන් සමහරක් වෙනත් කොක් දූපත් වලට සංක්‍රමණය වී ඇත. මොවුන්ගේ ප්‍රධාන ආහාරය අනෙකුත් කොක් විශේෂයන් වන අතර වෙනත් දූපත්වල කොකුන් සමග දැඩි සෙනෙහසක් ඇත.

පටි කොකා.

10. විශේෂය - පටන කොකා. 

සිටිනාතැනක් සොයාගත නොහැකි මෙම කොක් විශෙෂයෙහි තොරතුරු ලබාගත හැක්කේ අන්තර් කොක් ජාලය හරහා පමණී. අන්තර් කොක් ජාලය හරහා කොක් භාෂාවෙන් බොග් යනුවෙන් මොනවාදෝ කොටන මොවුන් විවිධ නම්වලින් එම ජාලය ඔස්සේ පෙනීසිටියි. කොතෙක් සෙවූවද මොවුන් ගැන තොරතුරු සොයාගැනීම අතිශය දුෂ්කකර විය... 
 අමාරුවෙන් සොයගත් පටන කොකෙකුගේ ඡායාරූපයක්

--------------------------------------------------------------------------------------------------------------------
ප/ලි
මෙයට මාසයකට පමන පෙර කුණුහරුප යනුවෙන් පද පෙරලි යොදමින් රසවත්ව ලියන ලද පෝස්ටුවක් කියැවීමි එහි ලින්ක් එක සොයාගැනීමට වෙහෙසුනත් එය අපහසු විය. යම් තොරතුරක් දන්නා අයෙකු වේ නම් එම ලින්ක් එක ලබාදෙන ලෙස ඉල්ලා සිටිම්. 

සියළු ඡායාරූප අන්තර් ජාලයෙන් ලබාගන්නා ලදී